පන වගේ ආදරේ කරපු බිරිඳ අවසන් ගමන් ගිහින් පැය 16ක් යන්නත් කලින් සිදුවුන දේ දැක්කම හැමෝටම අදහා ගන්න බැරි වුනා..
- Get link
- X
- Other Apps
සමහර ආදර කතා තියෙනවා නේද චිත්‍රපටවලින් විතරක් දකින්න ලැබෙන.. එහෙමත් නැත්නම් ආච්චිලා සීයලා අපිට පොඩි කාලේ කියලා දීපු සුරංගනා කතාවල විතරක් තියෙනවා කියලා හිතෙන... හැබැයි මේ කියන්න යන්නේ ලෝකේ ඇත්තටම ජීවත් වුණු දෙන්නෙක්ගේ පුදුමාකාර ආදර කතාවක් ගැන.
මේක ඇමරිකාවේ ඔහායෝ (Ohio) ප්‍රාන්තයේ නෑෂ්පෝර්ට් (Nashport) කියන පුංචි ලස්සන ගමේ ජීවත් වුණු හෙලන් (Helen) සහ කෙනෙත් ෆැලුම්ලි (Kenneth Felumlee) දෙන්නගේ නොමියෙන ආදර කතාව
කතාව පටන් ගන්නේ මීට අවුරුදු ගණනාවකට කලින්, ඒ දෙන්නා හරිම තරුණ, යොවුන් වියේ ඉද්දි... දුටු මුල් දවසෙන්ම වගේ මේ දෙන්නගේ හිත් එකිනෙකාට තදින්ම බැඳුණා. කාලය ගතවෙද්දී මේ දෙන්නට තේරුණා දැන් දෙන්නට දෙන්නා නැතිවම බෑ කියලා..
හැම ලස්සන ආදර කතාවකටම පුංචි අභියෝග එනවා වගේ, මේ දෙන්නටත් ඒ වෙලාවේ ලොකු බාධාවක් ආවා. ඒ 1944 පෙබරවාරි 20 වෙනිදා. කෙනෙත්ට වයස අවුරුදු 21 පිරෙන්න තව තිබුණේ දවස් දෙකයි.. ඔහායෝ ප්‍රාන්තයේ නීතියට අනුව ඒ වෙනකොට කෙනෙත්ට කසාද බඳින්න නීත්‍යානුකූල වයස සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ.
නමුත් ආදරේ හමුවේ නීතිරීති කියන්නේ බාධාවක් නෙවෙයි කියලා.. තමන්ගේ ආදරේ වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනේ කියන තීරණයේ හිටපු මේ දෙන්නා, ඔහායෝවලින් පිටත් වෙලා (හොරාට පැනලා ගිහින්) කෙන්ටකි (Kentucky) ප්‍රාන්තයේ නිව්පෝර්ට් (Newport) නගරයට හොරෙන්ම ගියා... ගිහින් කාටත් හොරෙන් විවාහ වුනා... ඒ වෙලාවේ ඒ දෙන්නගේ හිත්වල තිබුණේ එකම එක බලාපොරොත්තුවයි... ඒ තමයි මියෙන තෙක් එකට ජීවත් වීම.
එදා හොරෙන් ගිහින් කසාද බැඳපු ඒ ආදරණීය යුවළ, පස්සේ කාලෙක හරිම ලස්සන ලොකු පවුලක් ගොඩනඟා ගත්තා. දූලා පුතාලා 8 දෙනෙක්ගේ ආදරණීය අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් බවට මේ යුවල පත්වුනා..
ඔවුන්ගේ විවාහ ජීවිතයට අවුරුදු 70ක් පිරුණා.. හැබැයි පුදුමේ කියන්නේ, අවුරුදු 70ක් තිස්සේ මේ දෙන්නා අතර තිබුණු ආදරේ එක දශමයකින්වත් අඩු වුණේ නැහැ. ඒ වෙනුවට දවසින් දවස ඒ ආදරේ තවත් වැඩි වුණා.
ඒ දෙන්නා එකිනෙකාට කොච්චර නම් ආදරේද කියනවා නම්, එක සැරයක් ෆෙරි බෝට්ටුවක (Ferry) ගමනක් යද්දී දෙන්නට ලැබිලා තිබුණේ උඩ සහ යට තට්ටු දෙකක් තියෙන බංක් බෙඩ් (Bunk bed) එකක්. හැබැයි වෙන වෙනම නිදාගන්න අකමැති වුණු මේ දෙන්නා, අමාරුවෙන් හරි ඒ පුංචි තනි ඇඳේ එකට ගුලි වෙලා නිදාගත්තා
හැමදාම උදේට තේ එක බොන්න වාඩි වුණාම, මේ දෙන්නගේ අත් දෙක එකිනෙකට පටලැවිලා තිබුණා. අවුරුදු 70ක් පුරාවටම, එකම එක දවසක්වත් වරද්දන්නේ නැතුව ඒ දෙන්නා උදේ ආහාර වේල ගත්තේ අතින් අල්ලගෙන. වයසට ගිහින් අත්වල රැලි වැටෙද්දී පවා ඒ අත් අල්ලගෙන හිටපු පුරුද්ද නම් පොඩ්ඩක්වත් වෙනස් වුණේ නැහැ.
කාලයත් එක්ක වයස්ගත වෙද්දී කෙනෙත්ට ලොකු අසනීපයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ලේ ගමනාගමනයේ තිබුණු ලොකු සංකූලතාවයක් නිසා කෙනෙත්ගේ එක කකුලක් කපා ඉවත් කරන්න සිද්ධ වුණා.
එතැන් පටන්, තමන්ගේ ආදරණීය සැමියාගේ සෙවනැල්ල වගේ හිටියේ හෙලන්. එයා කෙනෙත්ගේ සෞඛ්‍යය ගැන, කෑම බීම ගැන, එයාගේ හැම අවශ්‍යතාවයක් ගැනම පුදුම ආදරයකින් සොයා බැලුවා. තමන්ගේ මුළු ශක්තියම යොදවලා, කෙනෙත්ගේ ප්‍රධානම උපස්ථායකයා වුණේ හෙලන්. ඒ ආදරේ ඉස්සරහා කෙනෙත්ගේ වේදනාවන් පවා දියවෙලා ගියා.
එහෙම ආදරයෙන් ගෙවුණු ලස්සන සංසාර ගමනක අවසාන පරිච්ඡේදය සටහන් වෙන්න ලං වුණා. 2014 අප්‍රේල් 12 වෙනිදා... වයස අවුරුදු 92ක් වුණු හෙලන්, තමන්ගේ ආදරණීය සැමියා සහ දරුවන්ව තනි කරලා මෙලොවින් සමුගත්තා.
අවුරුදු 70ක් තිස්සේ තමන්ගේ හුස්ම වගේ ළඟින් හිටපු ආදරණීය බිරිඳ නැති වුණු බව කෙනෙත්ට දැනුණා. හෙලන් නැතිවෙලා පැය 12ක් විතර යද්දී, කෙනෙත්ට අමාරු වුනා.. දරුවෝ එයා වට එකතු වුනා.. එයා වේදනාවේ එක දිගටම කියෙව්වේ.. “අම්මා නැතිවෙලා පුතේ...අම්මා නැතිවෙලා...” කියලා විතරයි...මේ විදියට විනාඩි 10ක් විතර ගෙවිලා ගියා... කෙනෙත්ගේ සෞඛ්‍ය තත්ත්වය එකපාරටම සීඝ්රයෙන් පිරිහෙන්න පටන් ගත්තා. හෙලන් නැති ලෝකයක තවත් එක තත්පරයක්වත් ඉන්න කෙනෙත්ගේ හදවත කැමති වුණේ නැහැ
තමන්ගේ දරුවන්, මුණුබුරන්, නෑදෑ හිතමිතුරන් 24 දෙනෙකුගෙන් වටවෙලා, ඒ හැමෝම ආගමික ගීතිකාවන් ගායනා කරමින් ඉද්දී, කෙනෙත් තමන්ගේ අවසාන හුස්ම පොද වාතලයට මුසු කළා.
ඒ වෙනකොට හෙලන් නැතිවෙලා ගතවෙලා තිබුණේ පැය 15යි මිනිත්තු 30ක් විතරයි...
අවුරුදු 70ක් තිස්සේ එකිනෙකාට ආදරේ කරපු, එකට ජීවත් වුණු, එකම මොහොතකවත් වෙන් වෙන්න අකමැති වුණු ඒ ආදරණීය යුවළ, මරණයෙන් පවා වෙන් වුණේ පැය කිහිපයකට විතරයි... හෙලන් ගිය පාරෙම, කෙනෙත් පැය කිහිපයකින් ගියේ, කවදාවත්ම වෙන් නොවෙන්න ඒ ආදරණීය ආත්මයන් දෙක එකතු වෙන්න ඕනේ නිසා වෙන්න ඇති.
අද කාලේ පුංචි ප්‍රශ්නයකටත් ආදරේ එපා වෙන, වෙන්වෙලා යන සමාජයක, හෙලන් සහ කෙනෙත් කියන්නේ ආදරේ නාමයෙන් ලෝකයටම දුන්නු ලොකුම පණිවිඩයක්. ආදරේ කියන්නේ ආකර්ෂණයට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි, ඒක කැපවීම, ඉවසීම සහ අවසාන හුස්ම තෙක් එකට සිටීම කියන දේ ඔවුන් මුළු ලෝකයටම පෙන්වා දුන්නා.
උපුටා ගැනීමක්..
- Get link
- X
- Other Apps

Comments
Post a Comment