එක් වීදියක වයස අවුරුදු අටක් පමණ වන කුඩා දරුවකු සිය ආච්චි අම්මා සමඟ ඉතා දුක්ඛිත ලෙස මහ මග ජීවිතය ගත කළා. එක් දිනක් සුපුරුදු පරිදි මේ කුඩා දරුවා මාර්ගයත් දිගේ ඉදිරියට ඇදුනා. අධික හිරු රැස් හේතුවෙන් වැඩි පිපාසයක් ඔහුට ඇති වුණා. කිළුටු වූ ඇඳුමින් ඔහු වතුර වීදුරුවක් ඉල්ලා ගැනීමට අසල වූ නිවසක් වෙත ඇදුනා. ඔහු දොරට තට්ටු කළා. නෝනා නෝනා මට හරිම තිබහයි. වතුර වීදුරුවක් දෙනවද? ඔහු දොර විවෘත කළ කාන්තාවගෙන් එසේ විමසුවා.
ඇය එක්වරම වතුර උඹලට දෙන්න වතුර මෙහෙ නැහැ. හිඟා කන්න උඹලට ලැජ්ජ නැද්ද යනුවෙන් පවසා මේ කුඩා දරුවාට බැන වැදුනා. ඉන් අනතුරුව ඔහු එතනින් නික්ම තවත් නිවසක් වෙත ඇදුනා. ඔහු දුටු විගසම ඒ නිවසේ දොර වැසුනා. වැඩි දුකකින් ඔහු ඒ නිවසිනුත් පිට වුණා. ටික දුරක් එන විට ඔහුට තවත් නිවසක් මුණ ගැසුනා. බියෙන් හා දුකෙන් ඔහු එම නිවසේ දොරටද තට්ටු කළා. මොහොතකින් දොර විවෘත වුණා
"ඇයි පුතා?" යනුවෙන් වයස අවුරුදු 35ක් පමණ වූ ඒ නිවසේ හිමිකාරිය මේ කුඩා දරුවාගෙන් විමසුවා.
"නෝනා මට හරි තිබහයි. වතුර උගුරක් දෙන්න පුළුවන්ද?" යනුවෙන් ඔහු එම කාන්තාවගෙන් සානුකම්පිත දෑසින් යුතුව ඉල්ලීමක් කළා."පොඩ්ඩක් ඉන්න පුතා. මෙතනින් ඉඳගෙන ඉන්න. මං ගේන්නම්," යනුවෙන් පවසා ඇය ගේ ඇතුළට ගියා. විනාඩි තුන හතරකට පමණ පසු ඇය ලොකු කිරි වීදුරුවක් මේ කුඩා දරුවාට ගෙනත් දුන්නා. ඉතා සතුටින් යුතුව ඔහු එක උගුරට කිරි කෝප්පයම පානය කළා.
ඉන් පසු එම කාන්තාව, "දැන් හවස් වීගෙන එන්නේ. පුතා කොහෙවත් යන්නේ නැතුව ගෙදරට යන්න," යැයි ඔහුට අවවාද කළා. හදවතින්ම එම කාරුණික කාන්තාවගේ රූපය මතකයේ සිතුවම් කරගත් ඔහු එතනින් නික්මුණා.
කාලය වේගයෙන් ගෙවී ගියා...
වසර 21කට පසු, ඒ කියන්නේ දැන් මේ දරුවාට අවුරුදු 29යි. අර කාන්තාවට වයස අවුරුදු 56යි. දරුණු රෝගාබාධයකට ලක් වූ මේ කාන්තාව පෞද්ගලික රෝහලකට ඇතුලත් වුණා. රෝහලට ඇතුල් වීමට ප්‍රථම ඇය සිය ඉඩකඩම්, රන් ආභරණ සියල්ල උකසට තබා, ඇගේ බැංකු ගිණුම් වල මුදල්ද සහිතව රුපියල් ලක්ෂ 40ක් සොයා ගත්තා. ඇය ශල්‍යකර්මයකට භාජනය වුණා. සාර්ථකව එම ශල්‍යකර්මය අවසන් වුණා.
නමුත් රෝහල් ගාස්තුව රුපියල් ලක්ෂ 50ක් බව ඇයට දැන ගැනීමට ලැබුණා. ඇය සතුව තිබුණේ රුපියල් ලක්ෂ 40ක් පමණයි. ඇය දස අතේ කල්පනා කරමින් බිල ගෙවන ස්ථානය වෙත ඇදුනා. ඇය තම අත තිබූ රුපියල් ලක්ෂ 40 බිල ගෙවන ස්ථානයට යොමු කරන මොහොතේම... "ආ නෝනා, ඩොක්ටර් මහත්තයා කිව්වා නෝනාගෙන් සල්ලි ගන්න එපා කියලා."
කාන්තාවට මේ සිදුවීම අදහන්න බැරි වුණා. ඒ මොහොතේම උස, රූමත් තරුණයෙකු ඇය ඉදිරියට පැමිණියා. n"අම්මට මාව අඳුනගන්න පුළුවන්ද?" තරුණයා විමසුවා.
"අනේ බෑ මහත්තයෝ. කවුද ඔය මහත්තයා?" කාන්තාව පිළිතුරු දෙමින් ප්‍රශ්නයක් ඇසුවා.
එවිට මේ තරුණයා, නැතහොත් වෛද්‍යතුමා මෙසේ පැවසුවා. "මීට අවුරුදු ගානකට කලින් අම්මට මතකද හිඟන ළමයෙක් අම්මගෙන් වතුර කෝප්පයක් ඉල්ලුවා? ඔය අම්මා මට කිරි කෝප්පයක් හදලා ගෙනත් දුන්නා. ඒක බීලා මම මගේ තිබහයි, බඩගින්නයි දෙකම නිවා ගත්තා. ඒ හිඟන ළමයා තමයි අම්මේ මං! මේ පෞද්ගලික රෝහල මගේ."
කාන්තාව ඇගේ සාරි පොටෙන් සිය දෙනෙත් වල නැගී ආ සතුටු කඳුළු බිඳු පිසදාමා ගත්තා.
Comments
Post a Comment