ලෝකයේ වැඩිම වැටුපක් ගත්ත ලංකාවේ එකම කාන්තාව Shemara Wikramanayake ඔක්තොම්බර් 6 වෙනිදා විශ්‍රාම ගනී
- Get link
- X
- Other Apps
අපි ජීවත් වෙන මේ ලෝකයේ සමහර මිනිසුන් තමන් උපන් දේශයේ සීමාවන් අතික්‍රමණය කරමින් මුළු මහත් ලෝකයේම තමන්ගේ නම ඉදිරියේ දණ ගස්වන්නට සමත් වෙනවා. ශ්‍රී ලංකාව කියන මේ පුංචි දූපතේ නම ජාත්‍යන්තර ව්‍යාපාරික ලෝකයේ ඉහළම තලයක රන් අකුරින් සටහන් කළ ඒ අපූරු චරිතය ගැනයි අද අපේ අවධානය යොමු කරන්නේ.
ලංකාවේ අපිට සමහර විට ඇයගේ නම එතරම් හුරු පුරුදු නැතුව ඇති. නමුත් ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්රය තුළ ඇය අද දැඩි ගෞරවයට පාත්‍ර වූ නාමයක්. ඇය තමයි ෂෙමාරා වික්‍රමනායක. ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරිනිය. එහෙමත් නැත්නම් CEO වරිය ලෙස තේරී පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව ඇයයි. ඇය නායකත්වය දෙන්නේ Macquarie Group කියන ලෝක ප්‍රකට ඩොලර් බිලියන ගණනක වටිනාකමකින් යුත් මූල්‍ය ආයතනයටයි. 2024 වර්ෂයේ වන විට ඇයගේ වාර්ෂික වැටුප සහ දීමනා එකතුව ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 30 ඉක්මවනවා. .
එය ශ්‍රී ලංකා රුපියල් වලින් නම් සිතාගත නොහැකි තරම් විශාල මුදලක්. නමුත් හිතවතුනි, මේ ඩොලර් මිලියන ගණනක වැටුප හෝ ඇය අද අත්විඳින මේ සුඛෝපභෝගී තත්ත්වය පිටුපස තියෙන්නේ සේදමාවතක් නෙවෙයි. කඳුළු, දහඩිය, කැපකිරීම් සහ සිය මව්බිමෙන් සැතපුම් ගණනක් ඈතට ගොස් මුල් නැති ගසක් සේ ජීවිතය නැවත වවාගන්නට වෙහෙස මහන්සි වූ එක්තරා දිළිඳු පවුලක ශෝකජනක මෙන්ම අභිමානවත්ව කතන්දරයක්. අපි යමු අතීතයට. 1958 වර්ෂය. ෂෙමාරාගේ පියා වෘත්තියෙන් වෛද්‍යවරයෙක්.
ලංකාවේ සිටි දක්ෂ වෛද්‍යවරයෙකු වූ ඔහු සිය ආදරණීය බිරිඳත් සමඟ එංගලන්තය බලා පිටත්ව යන්නේ වැඩිදුර වෛද්‍ය පුහුණුව ලබා ගැනීමේ අරමුණින්. ලංකාවෙන් පිටත්ව ගිය මේ යුවලට 1960 දී ඔවුන්ගේ පළමු දියණිය රොෂානා උපත ලබනවා. ඉන් වසරකට පසු එනම් 1961 දී අපේ කතාවේ වීරවරිය ෂෙමාරා වික්‍රමනායක මෙලොව එළිය දකිනවා.
පුහුණුව නිමා කරලා 1962 දී මේ පවුල නැවතත් තමන්ගේ මව්බිම වන ශ්‍රී ලංකාවට පැමිණෙනවා. පියා වෛද්‍යවරයෙක් ලෙස ලංකාවේ සේවය කරන අතරතුර ඔවුන්ගේ බාල පුතු ප්‍රියාන් මෙලොවට බිහිවෙනවා. දරුවන් තිදෙනෙකුගෙන් යුත් මේ පවුල සතුටින් ජීවත් වුණත් පියාගේ හදවතේ එකම එක ලොකු සිහිනයක් තිබුණා. ඒ දිනක ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටක සිය පවුල ස්ථාවර කිරීමයි. ඒ සිහිනයේ පසුපස හඹා යමින් ඔවුන් නැවත වතාවක් එංගලන්තයට සංක්‍රමණය වෙනවා. නමුත් දෙවන වරට එංගලන්තයට පැමිණි පසු ජීවිතය ඔවුන් සිතූ තරම් සුන්දර වුණේ නැහැ.
වෛද්‍යවරයෙකු වුවත් බ්‍රිතාන්‍ය තුළ ස්ථීර රැකියාවක් සොයා ගැනීම ඔහුට දැඩි අභියෝගයක් වුණා. පවුලක් නඩත්තු කරන්නට නම් ස්ථීර ආදායමක් අවශ්‍යයි. ඒ නිසාම ඔහුට සිදු වුණා බර්මින්හැම් නගරයේ රෝහලක වෙනත් වෛද්‍යවරුන් යටතේ තාවකාලික සහ සහායක වෛද්‍ය සේවාවන් වල නිරත වෙන්න. තමන්ගේ දක්ෂතාවයට නිසි ඇගයීමක් නැති, අනාගතය පිළිබඳ ස්ථීරත්වයක් නැති මේ අඳුරු කාලවකවානුව තුළ මේ පියා තනිවම කල්පනා කළේ මගේ දරුවන්ගේ අනාගතයට මින් ඉදිරියට මොකද වෙන්නේ කියලයි. තමන්ගේ දරුවන් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න මව්පියන් සූදානම්.
ඒ අනුව 1975 වර්ෂයේදී ක්ෂෙමාරාගේ පියා සිය ජීවිතයේ විශාලතම සහ අවදානම් සහගතම තීරණය ගන්නවා. ඒ මුළු පවුලම අරගෙන ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමයි. ඔවුන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට පය තබන විට මුළු ලෝකයම ආර්ථික අර්බුදයකින් වෙලී තිබුණා. ඔවුන් සතුව විශාල ධනයක් හෝ දේපලක් තිබුණේ නැහැ. තිබුණේ එකම එක දෙයයි. ඒ තමන්ගේ හැකියාව කෙරෙහි තිබූ විශ්වාසය විතරයි. ඕස්ට්‍රේලියාවට ආපසුවත් ඔවුන්ට මුලින්ම ලැබුණේ ලිහිසි පහසු ආරම්භයක් නෙවෙයි. වෛද්‍යවරයෙකු වූ පියාට සිඩ්නිහි පිහිටි රෝයල් ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහලේ ලැබෙන්නේ අර්ධකාලීන රැකියාවක් පමණයි. හිතන්න ලංකාවේ වෛද්‍යවරයෙක්, එංගලන්තයේ තාවකාලික සේවකයෙක්, දැන් ඕස්ට්‍රේලියාවේ අර්ධකාලීන සේවකයෙක්.
නමුත් මේ පවුල සැලුනේ නැහැ. බැටෙන සෑම අවස්ථාවකම ඔවුන් නැගී සිටියා. පියා තමන්ට ලැබුණු ඒ කුඩා අර්ධකාලීන අවස්ථාව තමන්ගේ පවුලේ දෛවය වෙනස් කරන මහා පියවරක් බවට පත් කර ගත්තා. ඔහු දිවා රෑ නොබලා වැඩ කළා. මව පවුලේ ආර්ථිකය කළමනාකරණය කරමින් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ජීවිතය කැප කළා. මේ උත්සාහයේ ප්‍රතිඵල කාලයක් එක්ක ලැබෙන්න පටන් ගත්තා. ක්ෂෙමාරාගේ අක්කා රොෂානා පසුව ඕස්ට්‍රේලියාවේ ඉතාමත් දක්ෂ නීතිඥවරියක් බවට පත්වුණා.
ඇයගේ මල්ලි ප්‍රියාන් සිය පියාගේ අඩිපාරේ යමින් දක්ෂ වෛද්‍යවරයෙක් වුණා. අභියෝග කොතරම් තිබුණත් අධිෂ්ඨානය සහ කැපවීම තිබේ නම් ජීවිතයේ ජයගත හැකියි කියන එකට මේ ලාංකික පවුල සජීවී උදාහරණයක් සපයනවා.සිය මව්පියන්ගේ අරගලය ඇස් පනාපිට දුටු ක්ෂෙමාරා කුඩා කල සිටම අධ්‍යාපනයට උපන් අපන්කම් දැක්වූවා. ඇය උසස් අධ්‍යාපනය සඳහා තෝරාගන්නේ ඕස්ට්‍රේලියාවේ කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයයි.
එහිදී ඇය නීතිය සහ වාණිජ්‍ය විද්‍යාව පිළිබඳ උපාධි හදාරනවා. අධ්‍යාපනය අවසන් කළ ඇය 1987 වර්ෂයේදී මැක්වරි ආයතනයට සම්බන්ධ වෙනවා. එවකට ඇය එහි සේවයට බැඳෙන්නේ ඉතාමත් සාමාන්‍ය මට්ටමේ විධායක නිලධාරිනියක් ලෙසයි. නමුත් ඇය සතු වූ සුවිශේෂී නායකත්ව ගුණාංග, තීරණ ගැනීමේ හැකියාව සහ මිනිසුන් කළමනාකරණය කිරීමේ අසමසම දක්ෂතාවය නිසා ඇය වසරින් වසර ආයතනයේ ඉහළ ඉනිමගට ගමන් කළා. මැක්වරි ආයතනයේ විවිධ අංශ රැසක මගකීම් ඇය සාර්ථකව ඉටු කළා.
ඇය ආයතනයේ යටිතල පහසුකම් අංශය ලෝකයේ පුරා ව්‍යාප්ත කරන්නට මූලිකත්වය ගත්තා. ඇයගේ මේ වසර 30 කට අධික අඛණ්ඩ කැපවීමේ උපරිම ප්‍රතිඵලය ලැබෙන්නේ 2018 වර්ෂයේදී. 2018 වර්ෂයේදී ක්ෂෙමාරා වික්‍රමනායක මහත්මිය මැක්වරි ගෘප් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස උසස්වීම් ලබනවා. හිතවතුනි, මෙය ඇයගේ පෞද්ගලික ජයග්‍රහණයක් විතරක් නෙවෙයි. වසර 50 කට අධික මැක්වරි ආයතන ඉතිහාසය තුළ එහි ඉහළම පුටුවට එනම් CEO තනතුරට පත් වූ ප්‍රථම කාන්තාව වන්නේ අපේ මේ ලාංකික දියණියයි. ඇය CEO තනතුරට පත්වෙලා නිකම්ම හිටියේ නැහැ. 2018 සහ 2019 ව්‍යාපාරික වර්ෂය අවසන් වන විට මුළු ඕස්ට්‍රේලියාවම කතා කරන චරිතය බවට ඇය පත්වුණා.
ඒ ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ක්ෂෙමාරා වික්‍රමනායකගේ නම ඉතිහාසගත වීමත් සමගයි. ඇයට පෙර එම වාර්තාව තබා තිබූ පිරිමි විධායක නිලධාරියා උපයා තිබුණේ ඩොලර් මිලියන 12.5 ක් පමණයි. නමුත් ක්ෂෙමාරා ඒ සියලු සීමාවන් සහ සියලු මතවාදයන් සුනු විසුණු කරමින් ඔහුට වඩා ඩොලර් මිලියන 5.5 ක් ඉදිරියෙන් සිටිමින් නව වාර්තාවක් පිහිටෙව්වා.
මෙය පොදේ මුදල් පිළිබඳ කතාවක් නෙවෙයි. මෙය පිරිමින් පාලනය කරන දැඩි තරගකාරී ලෝක මූල්‍ය ක්ෂේත්රය තුළ ආසියාතික පසුබිමක් ඇති ශ්‍රී ලාංකික කාන්තාවක් තමන්ගේ දක්ෂතාවයෙන් සහ නොසැලෙන ආත්ම විශ්වාසයෙන් ලෝකයම දිනාගත් ආකාරය පිළිබඳ සැබෑ සාක්ෂියයි. ඇයගේ මෙම සේවය නිසාම ෆෝබ්ස් සඟරාව මගින් ලොව බලපෑම් සහගතම කාන්තාවන් අතරටත් ඇයව නම් කරනු ලැබුවා. එසේම ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා දේශගුණික විපර්යාසය සඳහා වන මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ඇයගේ උපදෙස් ලබා ගන්නවා.
වෘත්තීය ජීවිතයෙන් ලෝකයේ ඉහළම මුදුනටම ගියත් පෞද්ගලික ජීවිතයේදී ෂෙමාරා වික්‍රමනායක කියන්නේ ඉතාමත් සරල, නිහතමානී කාන්තාවක්. ඇය අද ආදරණීය බිරිඳක්. ඒ වගේම දරු දෙදෙනෙකුගේ මවක්. ඇය තමන්ගේ පෞද්ගලික ජීවිතය මාධ්‍ය සංදර්ශන වලින් ඈත් කර තබා ගන්නට නිරන්තරයෙන් වග බලා ගන්නවා. ලංකාවෙන් පිටවී යන විට කිසිවක් නොතිබූ පවුලක උපන් ගැහැණු දරුවෙක් අද මුළු මහත් ඕස්ට්‍රේලියාවේම ආර්ථිකයේ ප්‍රධානතම මෙහෙවන්නියක් බවට පත්ව සිටිනවා. ඉතින් ලාංකීය නාමය වගේම මැකුවරි ආයතනය ලෝකයේ ඉහළම තලයට ගෙන ගිය මේ විශ්මිත කාන්තාව ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගෝලීය මූල්‍ය ආයතනයක නායකත්වය දරූ ප්‍රථම කාන්තාව බවටද පත් වූවා.
2026 වසරේ ජූලි මාසයේදී නිල වශයෙන් නිවේදනය කරන ලද පරිදි වසර 40කට ආසන්න සේවයකින් පසු ඇය 2026 නොවැම්බර් 6 වෙනිදා එම තනතුරෙන් විශ්‍රාම ගැනීමට නියමිත අතර ඇයගෙන් පසු ග්‍රේග් වෝඩ් නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.
ඇය අපට දෙන පණිවිඩය ඉතාමත් පැහැදිලියි. ඔබ උපන් ස්ථානය, ඔබේ පසුබිම හෝ ඔබ මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා ඔබේ ගමන නවත්වන්නට හේතුවක් කරගන්න එපා. නොසැලෙන උත්සාහය ඇත්නම් ඔබටත් දිනක ලෝකය ජයගත හැකියි. ෂෙමාරා වික්‍රමනායක මහත්මිය ශ්‍රී ලාංකික අපට පමණක් නොව ලෝකයේම සිටින සියලුම කාන්තාවන්ට සහ තරුණ පරපුරට සදාකාලික ආදර්ශයක්.
- Get link
- X
- Other Apps

Comments
Post a Comment