මතකද ඉස්සර පවුලේ හැමෝම ගෙඩි රූපවාහිනිය ඉස්සරහා ඉඳගෙන TV බැලුවා
- Get link
- X
- Other Apps
ගොඩක් රෑ වුනාම TV චැනල් වල විකාශනය කටයුතු නතර වෙනවා. එතකොට අමුතු කළු සුදු තිත් වගයක් තිරය පුරාම වැටෙනවා. එහෙමත් නැත්තනම්, ඇන්ටනාව වැරදි පැත්තකට කැරකුනාමත් හිම වැටෙනවා වගේ කුළු සුදු තිත් තිරය පුරාම වැටෙනවා.
ඒ එක්කම කන් අඩි පැලෙන "ෂූ..." ගාන සද්දෙකුත් ඇහෙනවා.
අපි පොඩි කාලේ හිතුවේ ඒක ටීවී එකේ ලෙඩක් හරි, නැත්නම් වහල උඩ උණ බම්බුවක ගැටගහලා තිබ්බ ඇන්ටනාව හුළඟට එහා මෙහා වෙලා සිග්නල් නැතිවුණාම එන ප්‍රශ්නයක් කියලා.
සමහර වෙලාවට තාත්තා වහල උඩට නැගලා ඇන්ටනාව කරකවනවා, අපි සාලේ ඉඳන් කෑගහනවා "තව පොඩ්ඩක්... තව පොඩ්ඩක්..." කියලා. මාත් මෙච්චර කාලයක් හිතුවේ ඒක නිකන්ම සිග්නල් අවුලක් කියලා විතරයි. විශ්වාස කරන්න මේ පරණ TV වල වැටුණු කළු සුදු තිත් ගැන හොයලා බලද්දී, මට කියවන්න ලැබුණු විද්‍යාත්මක තොරතුරු දැක්කම මම ඇත්තටම පුදුමයට පත්වුනා.
ඒ තිරයේ අපි දැක්ක දේ නිකන්ම නිකන් හිස් ශබ්දයක් නෙවෙයි. TV එක සාලේ මැද තියාගෙන අපි බලාගෙන හිටියේ මේ මුළු විශ්වයම බිහිවුණු හැටි.
ඔව්, ඒක 100% ඇත්ත කතාවක්.
මේ කතාව පටන් ගන්නේ අද ඊයේක නෙවෙයි. 1965 අවුරුද්දේ ඇමරිකාවේ New Jersey වල Bell Labs පර්යේෂණාගාරයේ, Arno Penzias සහ Robert Wilson කියලා තාරකා විද්‍යාඥයෝ දෙන්නෙක් හිටියා.Holmdel Horn කියලා යෝධ ඇන්ටනාවක් ඔවුන් දෙන්නා විසින් හැදුවා. එකට පුළුවන් අභ්‍යවකාශයෙන් එන ඉතාම දුර්වල රේඩියෝ තරංග පවා ග්‍රහණය කරගන්න.
හැබැයි ඔවුන්ට හිතාගන්න බැරි ලොකු කරදරයක් වුනා. ඇන්ටනාව අහසේ කොයි පැත්තට හැරෙව්වත් ඇහුනේ එක දිගට අමුතු "ෂූ..." ගාන ශබ්දයක් විතරයි. මුලින් ඔවුන් හිතුවේ එක නිව්යෝර්ක් නගරයේ කර්මාන්තශාලා වලින් එන රේඩියෝ බාධාවක් කියලා. නමුත් හේතුව ඒකත් නෙවෙයි කියලා තේරුම් ගියා.
පස්සේ ඔවුන් ඇන්ටනාව ඇතුළේ පරෙවියෝ ජෝඩුවක් කූඩු හදලා තියෙනවා දැක්කා. ආපහු ඔවුන් හිතුවා "ආ මේ තියෙන්නේ ලෙඩේ, පරෙවියන්ගේ මලපහ නිසා තමයි මේ තරංග අවුල් වෙන්නේ" කියලා.ඔවුන් ඇන්ටනාව සුද්ද කළා, පරෙවියෝ එලෙව්වා, මුළු මැෂිමම පිහිදලා පිරිසිඳු කරා.
හැබැයි ඒ සද්දේ දශමයකින්වත් අඩු වුණේ නෑ. ඒක ආවේ පෘතුවියේ කිසිම තැනකින් නෙවෙයි. ඒක ආවේ මුළු අහසෙන්මයි. අහසේ හැම දිශාවකින්ම, රෑ දවල් නැතුව එකම තීව්‍රතාවයකින් අපු සඥාවන්. පස්සේ තමයි මුළු ලෝකයම පුදුමයට පත්කරමින් ඇත්ත හේතුව හෙළිවුණේ. ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ Robert Dicke ඇතුළු භෞතික විද්‍යාඥයින් පිරිසක්, මේ ඇත්තටම ඇහුණු ශබ්දය මොකද්ද කියල පැහැදිලි කරලා දුන්නේ.
විශ්වාස කරන්න මේ විද්‍යාඥයින් දෙන්නා අහගෙන ඉඳලා තියෙන්නේ මහා පිපිරුමේ හෙවත් Big Bang එකේ අවසාන දෝංකාරයයි.විද්‍යාවේදී මේකට කියන්නේ Cosmic Microwave Background Radiation නැත්නම් කෙටියෙන් CMB කියලා.මීට අවුරුදු බිලියන 13.8 කට කලින්, එකම එක පුංචි ලක්ෂ්යයක සිදුවූ ක්ෂණික පිපුරුමකින් තමයි මේ මුළු විශ්වයම නිර්මාණය වුනා කියලා කියන්නේ. එම මහා පිපිරුමෙන් අවුරුදු 380,000 කට පස්සේ මුළු විශ්වය පුරාම මහා ආලෝක ධාරාවක් නිදහස් වුණා.
ඒ මහා ගිනි ජාලාවෙන් පිටවුණු ආලෝකය අවුරුදු බිලියන ගණනක් තිස්සේ මේ විශ්වය ප්‍රසාරණය වෙද්දී නොනවත්වාම දිගින් දිගට ඇදිලා ඇදිලා ගියා. පසුව ඒක සෙල්සියස් අංශක සෘණ 270.4 ක් දක්වාම අධික ලෙස සීතල වුණා. අන්තිමේදී ඒ ආලෝකය දුර්වල මයික්‍රෝවේව් තරංග බවට පත්වුණා.අන්න ඒ තරංග තමයි අර විද්‍යාඥයින්ගේ ඇන්ටනාවට දිගින් දිගටම වැදුණේ. ඔබ දන්නවද ඔවුන් විසින් සිදුකල ඒ අහඹු සොයාගැනීමට 1978 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය පවා හිමිවුණා.
අපේ සාලේ තිබ්බ පැරණි CRT ටීවී එකට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔන්න දැන් තමයි මේ කතාව වඩාත්ම සිත් ඇදගන්නා එකක් බවට පත්වන්නේ. අපේ ගෙවල්වල තිබුණු ඇනලොග් ටීවී ඇන්ටනාව කියන්නේ නිකන්ම කම්බි රාමුවක් විතරක් නෙවෙයි. ඒකෙන් කළේ වාතයේ පාවෙලා යන ඕනෑම විද්‍යුත් චුම්භක තරංගයක් උරාගන්න එක. ඊටපස්සේ ඒ තරංග පුංචි විදුලි ධාරාවක් බවට හරවලා වයරය දිගේ ටීවී එක ඇතුළට යැව්වා. යම්කිසි නාලිකාවකින් එන නිශ්චිත සංඥාවක් නැතිවුණු ගමන්, ඒ ඇන්ටනාව අවට පරිසරයේ තියෙන හැම රේඩියෝ ශබ්දයක්ම එකතු කරගන්නවා.
ටීවී එකේ සර්කිට් එකෙන් එන රස්නය, ඒ වගේම ඈත කොහේ හරි ගහන අකුණු සැරවල තරංගත් මේ ශබ්දයට එකතු වෙනවා. ඒක එතනින් තර වෙන්නේ නැහැ, නාලිකා නැති හිස් UHF තරංග පරාසවලදී, තිරයේ පෙනුණු ඒ කළු සුදු තිත් සහ ඇසුණු "ෂූ..." හඬින් 1% ක් විතර කෙළින්ම ආවේ අභ්‍යවකාශයෙන්.නිකන් හිතන්න, 1% ක් කියන්නේ පොඩි ගණනක් වගේ පේන්න පුළුවන්.
හැබැයි ඒක භෞතිකව සංසන්දනය කරලා බැලුවොත් ඇත්තටම පුදුම හිතෙනවා.
නිකන් හිතන්න, අපි අතට ගන්නා වැලි මිටක තියෙන දහස් ගණනක් වැලි කැට අතරින් එකම එක කැටයක් මේ මහ පොළොව හැදෙන්නත් කලින් තිබුණු දෙයක් කියලා කවුරු හරි කිව්වොත්? මෙන්න මේ කතාවත් අන්න ඒ වගේ එකක්. ඔබේ පරණ ටීවී තිරයේ දිලිසුණු හැම තිත් සියයකින්ම එකක්, මීට අවුරුදු බිලියන 13.8 කට කලින් විශ්වය හැදෙද්දී ඇතිවුණු මුල්ම ආලෝකයේ නෂ්ටාවශේෂයන්.
ඒ කාලේ CRT ටීවී පිටිපස්සේ electron gun කියලා එකක් තිබුණා. ඇන්ටනාවෙන් ආපු අහඹු විදුලි තරංගවලට අනුව ඒකෙන් ඉලෙක්ට්‍රෝන කදම්භයක් විදිනවා. ඒ ඉලෙක්ට්‍රෝන ගිහින් ඉස්සරහ තිරයේ තිබ්බ phosphor තට්ටුවේ හැප්පිලා තමයි අර කළු සුදු එළි පත්තු වුණේ.ඒ කියන්නේ අපේ සාලේ මැදට වෙලා අපි ඇස් දෙකෙන් දැක්කේ මේ සෞරග්‍රහ මණ්ඩලයවත්, මේ පෘථිවියවත් හැදෙන්න කලින් මුළු විශ්වයේම තිබුණු ශක්තිය.
සරලව බැලුවොත් අපි කරලා තියෙන්නේ කාලය හරහා ආපු පණිවිඩයක් දිහා බලාගෙන හිටපු එක.පස්සේ කාලෙක නාසා (NASA) ආයතනය COBE සහ WMAP කියන අභ්‍යවකාශ චන්ද්‍රිකා යවලා මේ විකිරණය සිතියම්ගත කළා.විද්‍යාඥයෝ ගත්තේ මේ මුළු විශ්වයේම මුල්ම ළදරු පින්තූරය. ඒකෙත් තිබුණේ අර ටීවී තිරයේ වගේම තිත් තිත් රටාවක්. වෙනසකට තියෙන්නේ, ඒ තිත් ඇත්තටම උෂ්ණත්වය අඩු වැඩි තැන් වීමයි. අද අපි දකින තරු සහ මන්දාකිණි හැදුණේ අන්න ඒ පුංචි තිත් එකතු වීමෙන්
නමුත් අද කාලේ අපේ සාලවල තියෙන්නේ අඟල් 55, 65 අති නවීන Smart LED ටීවී.අද ටීවී දුවන්නේ ඩිජිටල් ක්‍රමයට. සංඥා පොඩ්ඩක් හරි මදි වුණොත් කිසිම රූපයක් පෙන්නන්නේ නැහැ. කෙළින්ම නිල් පාට තිරයක් හරි "No Signal" පණිවිඩයක් හරි විතරක් එනවා.අද තියෙන ඩිජිටල් පද්ධති අර අභ්‍යවකාශයේ රේඩියෝ ශබ්දය සම්පූර්ණයෙන්ම filter කරලා දානවා. ඒක පිරිසිදුයි තමයි, හැබැයි අර පරණ ටීවී විශ්වය එක්ක කරපු ගණුදෙනුව එතන වෙන්නේ නැහැ.
අපි හිතුවේ පරණ ටීවී එකේ හිම වැටෙද්දී ඒක අජීවී, කැඩිච්ච මැෂිමක් කියලා නේද ?හැබැයි ඒ කැඩිච්ච රූප පෙට්ටියෙන් අපි නොදැනුවත්වම අහගෙන හිටියේ මේ විශ්වයේ පළමු හුස්ම පොද නේද ?ඊයේ රෑ අහස දිහා බලන් ඉද්දි මට නිකමට හිතුණා, තාක්ෂණයෙන් අපි කොච්චර ඉස්සරහට ගියත්, අපි නොදැනුවත්වම හැමදාම අතගාන්නේ මේ මහා විශ්වයේම කොටස් නේද කියලා.
අද අපි 4K, 8K පැහැදිලි තිර ඇතුළේ ජීවත් වෙනවා. හැම ඩොට් එකක්ම පරිපූර්ණයි, හැම රූපයක්ම පිරිසිදුයි.හැබැයි ඒ තාක්ෂණික දියුණුවත් එක්ක අපිට නොදැනීම අහිමි වුණේ, මේ මුළු විශ්වයත් එක්ක අපේ ගෙදර තිබ්බ එකම සජීවී සබඳතාවය. කෙටිය්නෙම කිව්වොත් ගෙඩි TV එකෙන් අපි පොඩි කාලේ විශ්වයේ ආරම්භක අවදිය එක්ක සම්බන්ධ වෙලා හිටියා. හැබැයි දැන් අපි හැමෝම ඒ සම්බන්ධතාවය ඉවත්කරලා, ඩිජිටල් රූපවාහිනී වලට මාරු වෙලා.
උපුටා ගැනීමක්..
- Get link
- X
- Other Apps

Comments
Post a Comment