මියගිය අයෙක් නැවත පණ ලබනවා කියන්නේ චිත්‍රපටවල හෝ කටකතාවල විතරක් අපි අහලා තියෙන දෙයක්. හැබැයි තමන්ගේ දියණිය සදහටම මෙලොව හැරගියා කියලා හිතලා, හදවත පැළෙන වේදනාවෙන් අවමංගල්‍ය උත්සවය සූදානම් කරද්දී, මිනීපෙට්ටිය ඇතුළෙන්ම දැරියක් ඇස් ඇරලා පණපිටින් නැගිට්ට ඇඟ කිලිපොළා යන පුවතක් ග්වාතමාලාවෙන් (Guatemala) වාර්තා වෙනවා.
මුළු ලෝකයේම සමාජ මාධ්‍ය කැළඹූ මේ අද්භූත සිදුවීම වාර්තා වන්නේ ග්වාතමාලාවේ පිහිටි දුෂ්කර ගම්මානයකින්.
සිද්ධිය ආරම්භ වෙන්නේ මේ 15 හැවිරිදි දැරියට හදිසියේම ඇති වූ දරුණු පපුවේ කැක්කුමකින්. රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා බියට පත් පියා, ඇයව වහාම ළඟම ඇති රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා.
නමුත් රෝහල වෙත යන අතරමගදී දැරිය එකවරම සිහිසුන්ව ඇදවැටී ඇති අතර, ඒ මොහොතේ දැරියගේ හුස්ම ගැනීම සහ හද ගැස්ම පරීක්ෂා කළ පියාට කිසිදු ප්‍රතිචාරයක් දැනී නැහැ. දරාගත නොහැකි කම්පනයටත් බියටත් පත් වූ පියා, රෝහල වෙත නොගොස් සිය දියණිය මෙලොවින් සමුගෙන ඇතැයි තනිවම තීරණය කර තිබෙනවා!
කිසිදු වෛද්‍යවරයෙකු ලවා මරණය තහවුරු කරගැනීමක් හෝ නිල මරණ සහතිකයක් ලබාගැනීමකින් තොරව, පවුලේ ඥාතීන් වහාම මිනීපෙට්ටියක් මිලදී ගෙන දැරියගේ සිරුර නිවසට ගෙනවිත් අවමංගල්‍ය කටයුතු සූදානම් කර ඇත්තේ මුළු ගමම ශෝකයට පත් කරමින්.
ඥාතීන් සහ හිතවතුන් මිනීපෙට්ටිය වටකරගෙන හඬා වැටෙමින් අවසන් ගෞරව දක්වමින් සිටියදී, කිසිවෙකුත් නොසිතූ අන්දමින් මිනීපෙට්ටිය ඇතුළෙන් අමුතු සෙලවීමක් දැකගන්නට ලැබී තිබෙනවා.
මුළු සභාවම භීතියෙන් ගල් ගැසී බලා සිටියදී, සිහිසුන්ව මියගියා යැයි සිතූ දැරිය පැය 8කට පමණ පසු මිනීපෙට්ටිය තුළදීම හෙමින් සීරුවේ ඇස් හැර පියවි සිහිය ලබාගෙන තිබෙනවා!
තමන් මිනීපෙට්ටියක් තුළ සිටින බව දුටු දැරිය කලබල වෙද්දී, එතැන සිටි පිරිස වහාම ක්‍රියාත්මක වී ඇයව මිනීපෙට්ටියෙන් එළියට ගැනීමට කටයුතු කර තිබෙනවා.
පසුව මාධ්‍ය හමුවේ කම්පනයෙන් යුතුව අදහස් දැක්වූ දැරිය පවසා තිබුණේ, තමන්ට සිහිය නැතිවීමට පෙර දරුණු පපුවේ කැක්කුමක් දැනුණු බවත්, ඉන්පසු සිදු වූ කිසිවක් තමන්ට මතක නැති බවත්ය.
තමන්ගේම නොසැලකිලිමත්කම සහ කම්පනය නිසා පණපිටින් ඉන්න දරුවා මිහිදන් කිරීමට ගිය මේ පියාගේ අත්දැකීම, ඕනෑම හදිසි අවස්ථාවකදී වෛද්‍ය පරීක්ෂණයක ඇති අතිශය වැදගත්කම ලෝකයටම මතක් කර දුන් පාඩමක් බවට පත්ව තිබෙනවා.
Comments
Post a Comment