තාක්ෂණය භාවිතයෙන් දොස්තර නෝනා කෙනෙක් වුණු තරුණයාට රැවටුණු සීයා

වසර විසිපහක් පුරා ඉතාලියේ රැකියාවක නිරත වූ හැත්තෑ එක් හැවිරිදි විවාහක පුද්ගලයකු පසුගිය 25 වැනිදා ශ්‍රී ලංකාවට පය තැබුවේ නව අපේක්ෂාවන් දල්වාගෙනය. ඔහුගේ බලාපොරොත්තුව වූයේ සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත්, ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ පදිංචි යැයි කියූ වෛද්‍ය ශිෂ්‍යාවක සමඟ එකම නිවෙසක ජීවත්වීමය...

එහෙත් ඔහු මෙරටට පැමිණි මොහොතේ සිටම එම තරුණියගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත විය. කෙතරම් උත්සාහ කළද ඇයට ඇමතුමක් ලබාගැනීමට නොහැකි වූ තැන, තමා අතිදැවැන්ත වංචාවකට හසුවී ඇති බව වෙන්නප්පුවේ පදිංචි මෙම පුද්ගලයාට අවබෝධ විය.

ඔහුගේ සැබෑ පෙම්වතිය වෛද්‍ය ශිෂ්‍යාවක නොවීය. ඇය කාන්තාවක්ද නොවීය. මාස ගණනාවක් තිස්සේ ඔහු සමඟ පෙම් බස් දෙඩුවේ සහ මුදල් ලබාගත්තේ ජංගම දුරකතන අලෙවිසලක සේවය කරන විසිඑක් හැවිරිදි තරුණයෙකි. කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඩිජිටල් මෘදුකාංග භාවිත කරමින් නිර්මාණය කළ අතත්‍ය ලෝකයක් හරහා මෙම සංවිධානාත්මක මුදල් වංචාව සිදුකර තිබේ.

මීට මාස කිහිපයකට පෙර සමාජ මාධ්‍ය හරහා මෙම ව්‍යාජ චරිතය ගොඩනැඟූ ප්‍රධාන සැකකරු, තමන් 'තීක්ෂණි ප්‍රමෝද්‍යා' නමැති වෛද්‍ය ශිෂ්‍යාවක බව පවසා ඇත. පවුලේ සිටින්නේ තමා සහ මව පමණක් බවත්, ජීවත් වන්නේ ඉතා කුඩා නිවෙසක බවත් පවසමින් ඔහු ඉතාලියේ සිටි පුද්ගලයාගේ අනුකම්පාව දිනාගැනීමට සමත් විය. විශ්වාසය තහවුරු කිරීම සඳහා වෛද්‍ය ශිෂ්‍යාවකගේ ඇඳුමින් සැරසුණු, කෘත්‍රිම බුද්ධියෙන් (AI) නිර්මාණය කළ ඡායාරූප මෙන්ම සාමාන්‍ය ඡායාරූපද ඔහු වෙත යවා තිබේ. ඊටත් වඩා සියුම් ලෙස, විශේෂ මෘදුකාංගයක් උපයෝගී කරගනිමින් කාන්තා කටහඬකින් ඔහු සමඟ කතාබස් කිරීමටද මෙම තරුණයා කටයුතු කර ඇත.

මෙම කතාබහට සහ කෘත්‍රිම ඡායාරූපවලට මුළා වූ පුද්ගලයා, ඇයට උපකාර කිරීමක් ලෙස අවස්ථා කිහිපයකදී බැංකු ගිණුම් හතරකට රුපියල් ලක්ෂ දහඅටකට අධික මුදලක් බැර කර ඇත. ඊට අමතරව අවස්ථා දෙකකදී භාණ්ඩ තොගයක්ද මෙරටට එවා තිබේ.

වංචාව පිළිබඳව ගාල්ල පොලීසියට ලද පැමිණිල්ලත් සමඟ ක්‍රියාත්මක වූ නිලධාරීන්, අදාළ බැංකු ගිණුම් ඔස්සේ පුළුල් විමර්ශනයක් ආරම්භ කළහ. එහිදී හෙළි වූයේ සැකකාර තරුණයා මුලින් බැංකු ගිණුම් තුනක් පවත්වාගෙන ගොස් ඇති බවත්, පසුව ඔහු සේවය කරන ජංගම දුරකතන අලෙවිසලේ හිමිකරු සමඟ ඒකාබද්ධ ගිණුමක් ආරම්භ කර එම ගිණුමටද වංචනිකව මුදල් ගෙන්වාගෙන ඇති බවත්ය.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.කේ.එස්. රූපසිංහ මහතාගේ උපදෙස් මත, විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.වී. ජයසිරි, උප පොලිස් පරීක්ෂක ප්‍රේමකුමාර සහ සැරයන් අරුණ (73009) යන මහත්වරුන් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉකුත් 28 වැනිදා ගාල්ල මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා වෙත ඉදිරිපත් කෙරිණි. එහිදී කෘත්‍රිම බුද්ධියෙන් කාන්තා චරිතයක් මවාපාමින් මුදල් වංචා කළ ප්‍රධාන සැකකරු වන ඔවිටිගල විතානගේ තීක්ෂණ ප්‍රමෝද්‍ය නමැති 21 හැවිරිදි තරුණයා ලබන මස 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජංගම දුරකතන වෙළෙඳසලේ හිමිකරු වන ඉමදුව විතානගේ දිමුතු සම්පත් නමැති 24 හැවිරිදි සැකකරු, රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

උපුටා ගැනීමක්... .

Comments