"පෙති ගිලින්න කලින් දෙපාරක් හිතන්න" ලෝකයක් රැවටුණු විටමින් C සුරංගනා කතාවේ අඳුරු පැත්ත මෙන්න!
- Get link
- X
- Other Apps
පොඩි හෙම්බිරිස්සාවක් හැදුණත්, ඇඟට පණ මදි වගේ දැනුණත්, සම ලස්සන කරගන්න හිතුණත් අපේ ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ ෆාමසියට දුවලා ගිහින් විටමින් C පෙත්තක් කටේ දාගන්න.
"විටමින් C කොච්චර බිව්වත් කමක් නෑ, වතුරෙ දියවෙන නිසා මුත්‍රා එක්ක එළියට යනවා" කියලා හිතාගෙන දවසට විටමින් C පෙති ගණන් ගිලින අය ඕනෑතරම් ඉන්නවා. හැබැයි මේ ජනප්‍රිය විටමිනය ගැන අපි අහපු දේවල් ඇත්තටම ඇත්තද? නැත්නම් ඒකත් තවත් එක් මිථ්‍යාවක්ද? ලොව සුප්‍රකට හාවඩ් සෞඛ්‍ය ප්‍රකාශන (Harvard Health) වාර්තා පදනම් කරගෙන කළ හෙළිදරව්වකින් ඒ ගැන අමුතුම කතාවක් කරළියට ඇවිත් තියෙනවා.
ගොඩක් අය හිතන්නේ විටමින් C වැඩිපුර බොන තරමට ලෙඩ හැදෙන්නේ නෑ කියලා. හැබැයි වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ අපේ ඇඟට උරාගන්න පුළුවන් විටමින් C ප්‍රමාණයට සීමාවක් තියෙන බවයි. වැඩිහිටි පිරිමි කෙනෙකුට දිනකට මිලිග්‍රෑම් 90ක් සහ කාන්තාවකට මිලිග්‍රෑම් 75ක් ප්‍රමාණවත් වෙනවා. දවසකට ගත හැකි උපරිම සීමාව මිලිග්‍රෑම් 2,000ක් වන අතර, ඊට වඩා ඕනවට වඩා විටමින් C පෙති බිව්වොත් පාචනය, ඔක්කාරය, බඩේ කැක්කුම විතරක් නෙවෙයි, වකුගඩුවල ගල් (Kidney stones) හැදීමේ බරපතළ අවදානමක් පවා මතුවෙනවා.
1970 ගණන්වල ඉඳන්ම සමාජයේ පැතිරුණු ලොකුම මතයක් තමයි විටමින් C වලින් හෙම්බිරිස්සාව වළක්වනවා කියන එක. හැබැයි නවතම පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙන්නේ විටමින් C මඟින් සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීම සම්පූර්ණයෙන්ම වළක්වන්නේ නැති බවයි. එයින් සිදුවන්නේ රෝග ලක්ෂණවල කාලය හෝ තීව්‍රතාවය සුළු වශයෙන් අඩුවීම පමණයි. ඒ නිසා කිවිසුමක් ගිය සැණින් අධික මාත්‍රාවේ පෙති බීම කිසිම තේරුමක් නැති වැඩක්.
පලතුරු සහ එළවළු හරහා ස්වභාවිකව විටමින් C ඇඟට ලැබෙනකොට හෘද රෝග සහ ආඝාත අවදානම අඩු වුණාට, කෘත්‍රිම විටමින් C පෙති දිගින් දිගටම ගැනීමෙන් හෘද රෝග වළක්වාගත නොහැකි බවත්, එයින් ඇතැම්විට රුධිර පීඩනයට අහිතකර බලපෑම් පවා එල්ල විය හැකි බවත් පර්යේෂකයින් අනතුරු අඟවනවා.
විටමින් C වල ප්‍රතිඔක්සිකාරක ගුණ තිබුණත්, පෙති බීමෙන් පමණක් පිළිකා හෝ ඇසේ පරිහානිය නතර කරගත නොහැකියි. ස්වභාවික එළවළු සහ පලතුරුවල ඇති අනෙකුත් තන්තු සහ ඛනිජ ලවණ සමඟ එකතු වූ විට පමණයි සිරුරට නියම ආරක්ෂාව ලැබෙන්නේ.
විටමින් C කියන්නේ අපේ සමේ කොලැජන් නිපදවන්න, තුවාල සුවවෙන්න, යකඩ උරාගන්න අත්‍යවශ්‍ය දෙයක් බව ඇත්ත. හැබැයි ඒකට රුපියල් දහස් ගණන් දීලා පෙති බොන්න අවශ්‍ය නැහැ. දොඩම්, දෙහි, ලෙමන්, අඹ, පැපොල්, අන්නාසි, ස්ට්‍රෝබෙරි, ගෝවා, බ්රොකොලි, නිවිති සහ කොළ පැහැති එළවළු දිනපතා ආහාරයට ගැනීමෙන්ම මේ අවශ්‍යතාව පහසුවෙන්ම සපුරාගත හැකියි. හැබැයි එළවළු අධිකව තැම්බීමෙන් විටමින් C විනාශ වන නිසා, වාෂ්පයෙන් තම්බා හෝ අමුවෙන් ආහාරයට එක්කර ගැනීම වඩාත් සුදුසු බවයි විශේෂඥ උපදෙස වන්නේ.
ඉතින් ඔයාලත් ලෙඩ හැමදේටම එකම බෙහෙත විටමින් C පෙති කියලා හිතාගෙන ඉන්නවා නම්, අදම ඒ වැරදි පුරුද්දෙන් මිදිලා ස්වභාවික නැවුම් එළවළු පලතුරුවලින් සිරුර පෝෂණය කරගන්න පෙළඹෙන්න!
උපුටා ගැනීමක්..
- Get link
- X
- Other Apps

Comments
Post a Comment